කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ගිණුම්කරණ විෂයභාර ආචාර්ය-ආර්. එම්. රාජරත්න
ගිණුම්කරණය විෂය දැනුම ශිෂ්‍යයන් ක්‍රමානුකූලව ලබාගතයුතුයි. මූලික දැනුම හැම විටම මූලික වශයෙන් ම අවශ්‍යයි. දැනුම වගේම කාලය පදනම් කරගෙන ගණන් සෑදීමට ද දරුවා හුරුවියයුතුයි. පාඩම් කිරීමේ දී වැඩි අවධානය යොමු කළ යුත්තේ කාල කළමනාකරණයටයි. ගිණුම් ප්‍රශ්න පත්‍රයේ දරුවා විෂය මාලාවේ සෑම කොටසක් කෙරෙහිම අවධානය යොමු කළයුතුය.
සමහර දරුවන් අවධානය යොමු කරන්නේ තමන් ඉලක්ක කරගත් ප්‍රශ්නවලට පමණයි. කුමන හේතුවක් මත හෝ තමා තෝරාගත් ප්‍රශ්නය විසඳා ගැනීමට අසීරු වූ විට දරුවා ව්‍යාකූල තත්ත්වයට පත්වේ. ප්‍රශ්න පත්‍රය ලැබීමෙන් පසු තමන් කැමැති සහ ලේසි ප්‍රශ්න තෝරා ගතයුතුයි. විසඳා ගැනීම අසීරු ගැටලුවකට කාලය නාස්ති කිරීම අවාසි සහගතය.
ප්‍රශ්න පත්‍රය අතට ගත් පසු ප්‍රශ්න තෝරා ගැනීම ආරම්භ කළයුතුය.
ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තෝරා ගැනීමේ දී පිළිවෙළක් අවශ්‍ය නැත. එහෙත් ප්‍රශ්නයේ අනු කොටස්වලට පිළිතුරු සැපයීමේ දී පිළිවෙළට පිළිතුරු සැපයීම වැදගත්ය.ගිණුම්කරණ පළමුවැනි ප්‍රශ්න පත්‍රය සඳහා පැය දෙකක කාලයක් වෙන් වන අතර මේ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පනහකින් යුක්තය.
මේ සඳහා ගත වෙන කාලය විනාඩි එකසිය විස්සකි. මේ අනුව එක ප්‍රශ්නයක් වෙනුවෙන් විනාඩි එකයි දශම දෙකක් වෙන් කළ හැකිය.
මෙහිදී දරුවා උපරිම වේගයකින් ගණන් සෑදීම කළයුතුය. තමන් හැදෑරූ සිද්ධාන්ත දැනුම මෙහිදී උපරිම වේගයකින් යොදා යුතුයි. නැති නම් කාලය හසුරුවා ගැනීමේ දී ප්‍රශ්න මතුවේ.
දෙවන ප්‍රශ්න පත්‍රයට කාලය පැය තුනක් වෙන් වෙන අතර ප්‍රශ්න දහයට විනාඩි එකසිය අසූවක් ගතවේ.
මේ අනුව එක් ප්‍රශ්නයකට විනාඩි දහ අටක් ගතවේ. ප්‍රශ්න පත්‍ර දෙකට නිවැරැදිව පිළිතුරු ලිවීමේදී සිද්ධාන්ත දැනුම උපරිමව යොදා ගත යුතුය.
සමහර දරුවන් විෂය මාලාවේ සියලුම කොටස් පාඩම් කරන්නේ නැතුව තමන් කැමැති පහසු කොටස් පාඩම් කරයි. එය අවාසි සහගත තත්ත්වයකි. හවුල් ව්‍යාපාර, සමාගම් කොටස් වැනි ගණන් වල වැදගත් කොටස් සඳහා වැඩි අවධානය යොදන්න.
හවුල්කරුවෙක් ඉවත්වීම බඳවා ගැනීම, විශ්‍රාම ගැන්වීම වැනි කොටස් නිතර නිතර සාදා හුරු වෙන්න. ලාභ කොටස් බෙදීම, පිළිබඳව අවධානය යොමු කරන්න. පුංචි කොටස් වැදගත් නැතැයි මඟහැර දැමීමෙන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ගණනක් සෑදීමට ඇති අවස්ථාව මඟහැරේ. ගිණුම්කරණ ප්‍රමිතයන් , ගිණුම්කරණ සංකල්ප මතක තබාගැනීමත්, මතක තබා ගැනීමේ කෙටි සටහන් තබා ගැනීමෙනුත් ධාරණය කර ගැනීම පහසුවේ.
ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිදුවෙන වැරැදිම්වලට මකන දියර භාවිතා නොකළ යුතුය. දරුවා ගණන් මැකීමට යාමේ දී අපිරිසුදු වීමට තිබෙන ඉඩකඩ වැඩිය.
මේ නිසා ගණන තනි ඉරකින් කපා නැවැතත් පිළිතුර ලිවීම වඩාත් සුදුසුය.
ගිණුම්කරණය හදාරන දරුවකුට දොළහ වසරේ දී සියයට පනහක් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඉතිරි සියයට පනහ දහතුන වසරේ දී ඉගෙනීමට අවස්ථාව ලැබේ.
දොළහ වසරේ පාඩම් අතපසු කර දහතුන වසරේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට සිසුවකුට නොහැකිය. මේ නිසා දොළහ වසරේ ගිණුම්කරණය පිළිබඳ ද යොදන ස්ථිර අඩිතාලම දහතුන වසරට වඩාත් යෝග්‍ය වේ.
පාඩම් කළත්, සිද්ධාන්ත දැනුම ප්‍රගුණ කළත් පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම වඩාත් යෝග්‍යවේ. පසුගිය ප්‍රශ්න පත්‍ර වල ව්‍යුහාත්මක තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගෙන ඒ අනුව කාලය කළමනාකරණය කරගෙන පිළිතුරු සැපයිය යුතුය.

0 comments:
Post a Comment